English
(+94) 114 690 200

පුංචි ඡන්දය ජාතික පුවත්පත් ඇසින්

මෙවර පළාත් පාලන මැතිවරණය නව මැතිවරණය ක්‍රමය යටතේ පවත්වනු ලබන පළමු මැතිවරණය වන අතර රටේ පවතින සුවිශේෂී දේශපාලන වාතාවරණය නිසා ද මැතිවරණයට වැඩි අවධානයක් යොමුව තිබේ. මෙරට සමාජ දේශපාලන කතිකාව තුළ පුවත්පත තවමත් බලපෑම්සහගත මාධ්‍යයක් නිසා ප්‍රධාන ධාරාවේ පුවත්පත් මැතිවරණය පිළිබඳව සිදුකරන වාර්තාකරණය පිළිබඳව විමර්ශනයක් දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය විසින් අරඹා තිබේ. එහි මූලික පියවර ලෙස 2018 ජනවාරි මස මුල් සති දෙක තුළ  ( ජනවාරි 1 -14 ) ලංකාදීප, දිවයින හා දිනමිණ පුවත්පත් වාර්තාකරණය පිළිබද අන්තර්ගත විශ්ලේෂණය ඇසුරින් සැකසූ සටහන මේ සමග ඉදිරිපත් කෙරේ.

  • අනිවාර්ය කාන්තා නියෝජනය 25%ක්  ලෙස තීරණය වුව ද කාන්තා  නියෝජනය ගැටළුවක් ලෙස දකින දකින ලිපිද දක්නට ලැබුණි.  නමුත් එයින් ඔබ්බට ගිය  කාන්තා නියෝජනය පිළිබද පුළුල් කතිකාවක් දක්නට නොලැබිණ.
  • නව මැතිවරණ ක්‍රමය යටතේ ප්‍රදේශයට වග කියන නායකයකු පත් කරගැනීමේ නෛතික ප්‍රතිපාදන සකසා තිබුනද ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම දක්නට ලැබුනේ අවම වශයෙනි.

නව මැතිවරණ ක්‍රමය පිළිබඳව මැතිවරණ කොමිසමේ සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ දැන්වීම පළ කොට තිබුණද මැතිවරණ ක්‍රියාවලිය සරලව එහෙත් විශේලේෂණාත්මකව ඉදිරිපත් කිරීමේ අඩුව පැහැදිලිවම දක්නට ලැබුනි. මැතිවරණයට දිනකට හෝ දින දෙකකට පෙර එවැනි දැනුවත්කිරීම් කළ බව නිරීක්ෂණය වුව ද ඒ පිළිබද කල් සිටම නිසි දැනුවත් කිරීමක් සිදු කළ යුතුව තිබුණි.

සමස්තයක් ලෙස ගත කළ පළාත් පාලන මැතිවරණයකදී බිම් මට්ටමේ සමාජ ආර්ථික කරුණු සංවාදයට බඳුන් විය යුතු වුවත් නිරීක්ෂණයට ලක්වූ  පුවත්පත් මගින් ජාතික මට්ටමේ දේශපාලන කරුණු වලට ඉඩක් ලබා දීම බහුලවම දැකගත හැකිය. ග්‍රාමීය සංවර්ධනය පිළිබඳව වාර්තා වී ඇති කරුණු ද බොහෝවිට රටේ ජාතික සංවර්ධන ක්‍රියාවලිය ආශ්‍රයෙන් ඉදිරිපත් කොට තිබෙන ආකාරයක් දැකගත හැකිය. කෙසේනමුත් ජාතික පුවත්පත් මගින් ප්‍රාදේශීය වශයෙන් බලපාන්නා වූ කරුණු පිලිබඳ ගැඹුරු වාර්තාකරණයක් බලාපොරොත්තු වීම ප්‍රායෝගික නොවේ. එහෙත් පළාත් පාලන මැතිවරණයකදී ජාතික මට්ටමේ කරුණු පිලිබඳ පමණක් අවධානය යොමු වීම සාධනීය තත්ත්වයක් නොවන අතර ජනතාව ජාතික දේශපාලන කරුණු මත ප්‍රාදේශීය මට්ටමට අදාළ දේශපාලන තීරණ ගැනීම ගැටලුවකි.

දරිද්‍රතාවයට හා සංවර්ධනයට අදාළ දත්ත අනුව ජාතික මට්ටමින් සංඛ්‍යාත්මක වර්ධනයක් පෙන්නුම් කළ ද ග්‍රාමීය වශයෙන් පවතින විෂමතාවයන් හා ගැටලු බරපතල වශයෙන් තවමත් පවතී. උමා ඔය ආශ්‍රිතව මතුවූ ගැටලුව හැරෙන්න අනෙකුත් ප්‍රාදේශීය වශයෙන්  බලපාන්නා වූ කරුණු පිළිබඳව පුවත්පත් මගින්  ලබාදී තිබුනේ ඉතා අවම අවධානයකි. පොදුවේ ගත් කළ පහළ සිට ඉහළට ක්‍රියාත්මකව විය යුතුව තිබුණු මැතිවරණය පිලිබඳ කතිකාව ඉහළ සිට පහලට ක්‍රියාත්මක වූ බව පුවත්පත් අන්තර්ගතයන් මගින් නිරීක්ෂණය වේ.